අත්‍යවශ්‍ය සහන මලු ලබා දෙමින් දිවයින පුරා අසරණ පවුල් 6,000ක් නඟා සිටුවීමේ 'Say We Care' වැඩසටහනට කොකා-කෝලා පදනම සහාය දක්වයි

2022 දෙසැම්බර් 8 - කොළඹ දිවයින පුරා අත්‍යවශ්‍ය ආහාර මලු බෙදාහරින "Say We Care" වැඩසටහන හරහා පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අසරණ ශ්‍රී ලාංකික පවුල් 6,000කට ආධාර කිරීමට අරමුදල් සැපයීමට කොකා-කෝලා පදනම පියවර ගෙන ඇත.

මෙමඟින් දිවයින පුරා වඩාත් දුෂ්කර ප්‍රදේශ වල දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රජාවන් අතර සහන මලු බෙදා හැරීම සිදු වන අතර ඒවා මාස දෙකකට පමණ සෑහෙනු ඇත. ගම්පහ, කළුතර, කොළඹ, අනුරාධපුර, මඩකලපුව, මන්නාරම, වවුනියාව, මොණරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක නවයක මෙම අසරණ පවුල් වාසය කරති. සමාජ සේවා අමාත්‍යාංශය යටතේ පවතින සමාජ සේවා ස්වේච්ඡා සංවිධානයක් වන සේවාලංකා පදනමේ සහ ඒ ඒ ප්‍රදේශයන්හි විවිධ පළාත් පාලන ආයතනවල සහාය ඇතිව හඳුනාගැනීමේ ක්‍රියාවලියක් මගින් මෙම පවුල් හඳුනාගෙන ඇත.

දිවයිනේ අඩු සහ මධ්‍යම ආදායම්ලාභී නාගරික, උපනාගරික සහ ග්‍රාමීය පවුල් ගණනාවකට ආර්ථික අර්බුදය දැඩිව බලපෑම් එල්ල කර ඇත. එවැනි පසුබිමක, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් 2022 සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ ශ්‍රී ලංකාවේ මිලියන 6.3ක පමණ ජනතාවක් මධ්‍යස්ථ හා උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවයෙන් පෙළෙන බවයි. ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආධාර සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. ආහාර උද්ධමනය 2022 ඔක්තෝම්බර් මාසයේදී 85.6% දක්වා සහ 2022 නොවැම්බර් මාසයේදී 73.7% දක්වා ඉහළ යාමත් සමඟ පසුගිය මාස කිහිපය තුළ මේ තත්වය වඩාත් නරක අතට හැරී ඇත. මෙම පවුල් බොහොමයක් දිනකට ආහාර වේල් ගණන දෙකක් හෝ එකක් වශයෙන් සීමා කොට ඇති අතර, ඔවුන් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය ද අවම කර ඇත. විවිධ ආහාර ද්‍රව්‍යවල අධික මිල සහ හිඟකම හේතුවෙන් ආහාරවල පෝෂණ ගුණය සැලකිය යුතු ලෙස බලපෑමකට ලක්ව ඇත.

සෑම සහන මල්ලක්ම වියළි සලාක සහ එම පවුල්වලට අවශ්‍ය සනීපාරක්ෂක හා ඖෂධ ද්‍රව්‍ය කිහිපයකින් සමන්විත වනු ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් ඉලක්ක කර ඇති අවශ්‍යතා ඇති ප්‍රජා කණ්ඩායම් අතරට ගැබිනි සහ කිරි දෙන මව්වරුන්, දරුවන් (විශේෂයෙන්ම මන්දපෝෂණය ඇතුළු ඌන පෝෂණ තත්ත්වයන් සහිත), ආබාධ සහිත පුද්ගලයන්, තනි මාපිය පවුල්/කාන්තා මූලික නිවාස, අඩු ආදායම්ලාභී පවුල්, යැපෙන්නන් විශාල සංඛ්‍යාවක් සිටින පවුල්, ජීවනෝපායන් නොමැති ගෘහ මූලිකයන් සහ නුපුහුණු සහ දෛනික කම්කරුවන් මත දැඩි ලෙස රඳා පවතින ගෘහයන් ඇතුළත් වේ.

කොකා-කෝලා පදනමේ (TCCF) සභාපති Saadia Madsbjerg ප්‍රකාශ කළේ, “දුෂ්කර කාලවලදී තිරසාරභාවයෙන් යුතුව වගකීමෙන් දේශීය ප්‍රජාවන්ට සහයෝගය දැක්වීමේ දිගු ඉතිහාසයක් අපට ඇත. අපගේ මෑතකාලීන සාමූහික ප්‍රයත්නයක් වන ‘Say We Care’ වැඩසටහනට සහය වීම මඟින් අවශ්‍යතා ඇති ප්‍රජාවන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීම අරමුණු කෙරේ." යනුවෙනි.

කොකා-කෝලා පදනම (TCCF) මෑතකදී ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට සහ අනෙකුත් හවුල්කරුවන්ට COVID-19 වසංගතය අතරතුර පුද්ගලයන්ට සුවය ලබා ගැනීමට සහ නැවත නැගී සිටීමට හැකි මැදිහත්වීම් උදෙසා අරමුදල් සපයා ඇත. සමස්තයක් වශයෙන්, Coca‑Cola පදනම දිවයිනේ COVID-19 බලපෑමට ලක් වූ ප්‍රදේශවලට එරෙහිව සටන් කිරීම සඳහා රුපියල් මිලියන 110 ක් ලබා දුන්නේය.

Coca‑Cola පදනම ගැන
Coca‑Cola පදනම යනු Coca‑Cola සමාගමේ ගෝලීය දානපති අංශයයි. ජල සංරක්ෂණය, අසල්වැසි ප්‍රතිචක්‍රීකරණය, කාන්තා විමුක්තිය, අධ්‍යාපනය සහ තරුණ සංවර්ධනය කේන්ද්‍ර කරගත් ලොව පුරා තිරසාර ප්‍රජා ව්‍යාපෘති සඳහා සහාය වීම සඳහා පදනම 1984 දී ආරම්භ කළ දා සිට ඩොලර් බිලියන 1.2 කට වඩා ලබා දී ඇත. Coca‑Cola පදනම පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර පිවිසෙන්න: https://www.coca-colacompany.com/social/coca-cola-foundation